ස්ටාර්ගේසින්



පුංචි කාලෙ ඉඳන් රෑට අහස බලන එක මම ආසම දෙයක්. මම ගොඩාක් පොඩි කාලෙ හේලිගේ වල්ගාතරුව පායපු දවස් වල තාත්ත මාව වඩාගෙන ඒක පෙන්නනව යාන්තම් මතකයි. ඊට පස්සෙ මට මතක දෙකවසරෙ වගේ කාලෙ චන්ද්රග්රහණයක් බලනවා. හඳ කොහොමද රතුපාට වුනේ කියල මම පුදුම වුනා.
මම අහස ගැන උනන්දු වෙන්න තවත් ප්රදාන හේතුවක් තමයි ජිනේන්ද්රවංශ සිල්වා මහත්මයගෙ චන්ද්රයා පොත.චන්ද්රයා ගැන ඉතිහාස කතා, ජනප්රවාද, විද්යාත්මක හා ගණිතමය දත්ත හා පර්යේෂන සියල්ල ඇතුලත්ව ඉතා රසවත් ආකාරයට ලියල තිබ්බ පොතක්. ඔය කාලෙම තමයි හේල්බොප් වල්ගාතරුව පායන්නෙ. අනූ හයේදි විතර ලියෝනිඩ්ස් උල්කාපාත වර්ෂාව බලන්න පාන්දර තුනට නැගිටල පන්තියෙදි නින්ද ගිහින් ගුටිකෑව මතකයි.

ඔය කාලෙ වෙද්දි අහස ගැන වැඩි විස්තර හොයාගන්න දැන් වගේ ලේසියෙන් බැහැ. උල්කාපාත වර්ෂාවක් හරි වල්ගාවක් හරි පේනව නම් ඒ විස්තර ගොඩක් වෙලාවට පත්තරෙන් හොයාගන්න පුලුවන්. ඒ ඇරෙන්න වැඩි විස්තර හොයාගන්න නම් පොත්පත් එක්ක ගොඩාක් ඔට්ටු වෙන්න ඕනෙ.
ඔය කාලෙ මට තාරකා සිතියමක් ඕනෙ කලා. දැන් කාලෙ වගේ ස්ටාර් මැප්, ස්ටාර් ට්රැකින් මොබයිල් ඇප් ඒ කාලෙ තිබුනෙ නැහැ. තමන් ඉන්න රටට ගැලපෙන විදිහෙ තාරකා සිතියමක් හොයාගන්න ඕනෙ. ඔය තරු සිතියමක් හොයාගන්න මම අවුරුද්දක් විතර උත්සාහ කලා. කොලඹ හැම පොත් කඩේකම තාත්තත් එක්ක කරක් ගැහුවා. මම හිතන්නෙ ඒ කාලෙ අහස ගැන මිනිස්සුන්ගෙ උනන්දුව ගොඩක් අඩුයි . අන්තිමේදි පිටරටක වැඩකරපු මගෙ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් විශාල තාරකා සිතියමක් සහිත පොතක් එවල තිබ්බා. අදට උනත් මට අහසෙ ප්රදාන තාරකා, ග්රහලෝක, තරු රටා ඇප් එකක් හෝ සිතියමක් පාවිච්චියෙන් තොරව කියන්න පුලුවන් තරමට ඔය සිතියම් පොත කටපාඩම්.

පැය බාගයක් විතර කරුවලට වෙලා ඉඳල අඳුරට ඇහැ හුරු කරගෙන රතු ඉටිකොලේකින් කවර් කර ගත්ත ටෝච් එකකින් සිතියම කියවල අහස නිරීක්ෂණය කරන එක හරිම සුන්දර අත්දැකීමක්. හරියට කරුවලට ඇහැ හුරු කර ගත්තොත් පැයක් වගේ ඇතුලත උල්කා දෙක තුනක් වත් බලාගන්න පුලුවන්.
පොඩි කාලෙ ඉඳන්ම ආසාවෙන් හිටපු සමහර දේවල් සැබෑ කරගන්න මට රස්සාවට ගියාට පස්සෙ පුලුවන් වුනා. හොඳ ෆුල් ෆ්රේම් කැමරාවක් ගත්තා. ඒකට හරියන ලෙන්ස් ගත්තා. ෆිල්ටර්ස් ගත්තා. ඊටපස්සෙ මම රෑට රෑට තරු වල පොටෝ ගන්න පටන් ගත්තා. කැමරාවට දිග ටෙලස්කෝප් එකක් හයිකරන්ඩ මවුන්ට් මමම හදාගෙන මැෂින් කරගත්තා. ග්රහලෝක වල විශාල පින්තූර ගන්න පුලුවන් වුනා.
තවත් මම ආසම වුන දෙයක් තමයි උල්කා වැසි වල උල්කා ගනින එක. රෑ එලිවෙනකන් උල්කා ගනිනවා. පහුවදාට වැඩට ගිහිල්ල නිදාගන්නවා. ඔහොම ගිහින් මීටින් වල නින්ද ගිය අවස්තාද නැත්තේ නොවේ. 2012 වගේ පර්සීඩ්ස් උල්කාපාත වර්ෂාවෙ උච්චතම දවසක රෑ එලිවෙනකොට උල්කා හාරසිය ගානක් ගනින්ඩ පුලුවන් වුනා.
වල්ගා තරුවක් පේනවය කියන්නෙ මාස ගානක් ප්ලෑන් කරල ලෑස්ති වෙනවා. කැමරා රෙඩි කරනවා. වෙනමම උපකරණ හදාගන්නවා. හඳේ කලාව ගණනය කරනවා. වල්ගාවෙ පාත් එක කොම්පියුටරෙන් සිමියුලේට් කරනවා. ඔහොම මාස ගානක් ලෑස්ති වෙලා අන්තිමට කොහෙවත් නැති වැස්සක් හරි වලාකුල් හරි ඇවිත් ඔක්කොම විනාශ වෙලා යනවා.

2013 අග C/2014 Q2 කියන වල්ගාතරුව ලංකාවට පේන්න ගත්තා. මේකට කට්ටිය දාපු නම තමයි ලව්ජෝයි. ඔය වල්ගා තරුවෙ විශාල පින්තූරයක් ගන්ඩ මට ඕනෙ වුනා. මාස තුනක් තිස්සෙ විතර වැඩේට ලෑස්ති වුනා. ඒ වල්ගා තරුව ගොඩාක් පොඩියට පෙනුණ නිසා දිග ලෙන්ස් එකක් කැමරාවට ගහන්න ඕනෙ. එහෙම දිග ලෙන්ස් එකක් ගහපුවාම කැමරාව බරයි. අනික වල්ගාව අහසෙ ගමන් කරනවනෙ තරු වගේම . එතකොට ඕක යන විදිහටම කැමරාවත් කැරකෙන්න ඕනෙ. එහෙම උපකරණ ලංකාවෙ නෑ. පිටරටින් ගෙනාවත් හෙන ගනන්. පස්සෙ මම ඕකට හරියන්ඩ පොඩි ගැජට් එකක් අටවගත්තා. ඒකත් ටෙස්ට් කරල රෙඩි කරල තිබ්බෙ.
දැන් තරුවෙ පොටෝ ගන්ඩ ලොකේෂන් එකක් ඕනෙ. කොහොම හරි දවසක් පුත්තලමෙ මලගෙදරක යනකොට හොඳ තැනක් දැක්ක නිකවැරටිය පහුවෙලා ආනමඩුවට මෙහා. පාරෙන් ටිකක් ඇතුලට වෙන්ඩ තිබ්බ පොඩි වැවක්. දවල්ටත් මාර ලස්සනයි. ඉස්සෙල්ලම බැලුවෙ රෑට ඔය හරියට අලි එනවද කියල. මොකද මම අලින්ට තිබ්බෙ පරාණ බයක්. කොහොම හරි එහෙට අලි එන්නෙ නෑ කියලත් තහවුරු කරගත්තා.
පින්තූරෙ ගන්ඩ ලෑස්ති කරේ සිකුරාද දවසක. එදා තමයි වල්ගාව උපරිමම දීප්තතාවයකින් පේන්නෙ. වල්ගාතරුව අහසෙ බටහිට පැත්තෙ ක්ෂිත්ජයට අංශක 25ක් විතර වගේ තමයි උපරිම උඩට එන්නෙ. ඒ එන්නෙත් පාන්දර තුනට පොඩ්ඩක් කලින්.ඊට පස්සෙ හැරිල ආපහු යනවා. ඉතින් ඒ වෙද්දි ලෑස්ති වෙන්ඩ ඕනෙ. ගෙදර ඉඳන් ඔතෙන්ට යන්ඩම පැයකට වඩා යනවා. කොහොම හරි රෑ දොලහට වගේ ඔක්කොම බඩුත් පටවන් ගෙදරින් පැන්නා.වෙලාවට අම්ම නිදි. නැත්නම් රෑ දෙගොඩ ජාමෙ මගුල් නටන්ඩ දෙන්නෙ නෑ. මග තේ කඩේකින් කෝපි එකක් එහෙමත් ගහල එක හමාර වෙද්දි පොට් එකේ. කරුවලේම අයිටම් එක අටවල ටෙස්ට් කරන්ඩම පැයක් විතර ගියා. දෙක හමාර වෙද්දි බඩු රෙඩි. දැන් බලන් ඉන්නෙ උල්කාව එනකන්. ඔහොම ඉන්නකොට වැව අයිනට එනව තව වාහනයක්. පොලිස් ජීප් එකක්. ඒකෙන් බැහැල පොලීසියෙ දෙන්නෙක් එනව. කව්ද කින්ද මොනවද කරන්නෙ මොකක්ද මේ හැම විස්තරයක්ම අහනවා. අයිඩින්ටිය බලනවා. රස්සාව මොකක්ද. කොහෙද වැඩ කරන්නෙ. දෙමාපියො කව්ද ඔක්කොම අහනවා. වාහනේ ලයිසන් එකත් බලනවා. ඊට පස්සෙ ගිනින් ජීප් එකේ ඉස්සරහ සීට් එකේ ඉන්න මහත්තයට කතා කරනවා. මහත්තය මට එන්ඩ කියනවා. හරිම කරුණාවෙන් මට කතා කරනවා. මහත්තය මේකයි. මේ ලඟ ගෙවල් දෙක්කින් තුනකින් පොලිසියට කෝල් ආව කවුද වැව ඉවුරෙ මොනාද හයි කරනව කියල. ඒක බලන්ඩ අපි ආවෙ. ඔහොම දෙයක් රෑ කරද්දි මිනිස්සු කලබල වෙනවනෙ කියල මට පැහැදිලි කරල දෙනවා. රෑ මේ වගේ තැනක ඔහොම ඉන්නවනම් පොලිසියෙන් අවසරේ ගන්ඩ ඕනෙ. හදිස්සියෙ මහත්තයට මොනා හරි උනත් අපිනෙ වගකියන්ඩ ඕනෙ කියනවා. ආපහු යන්ඩ කියනවා. ගිහින් අවසරේ අරන් වෙන දවසක එන්ඩලු. ඒ අස්සෙ වල්ගාව හැරිල යනවා. මම මාස ගානක් ප්ලෑන් කරන් හිටපු ෂොට් එක මිස් වෙනවා.

ඔය සිද්දියෙන් පස්සෙ ගෙදරින් එලියෙ ගිහින් අහස බලනව කියන එක ටික ටික වත්ත ඇතුලට සීමා වෙනවා. ටික ටික කාර්ය බහුල වෙලා නැත්තටම නැතිවෙලා යනවා.

ඇත්තටම ලංකාවෙ මිනිස්සු බහුතරයක් විනෝදාංශයක් කියල දෙයක් කරන්නෙ රස්සාව කරල කාලෙ ඉතුරුවුනොත් විතරයි. මානසික නිදහසේ අගය අපට ඒ තරම්ම වටින්නෑ. වෙලාවක් ඉතුරු වුනොත් මොනා හරි කරනව. ඒකත් බොක්කෙන්ම කරන්නෑ. සමහරක් රටවල එහෙම නෙවෙයි. මම දන්න ඇමෙරිකන් පොරක් ඉන්නව. මගේ වයසෙම. ඉංජිනේරුවෙක්. බොයින් එකේ වැඩ. ප්රසිද්ද පොටෝග්රැපර් කෙනෙක්. මිනිහ රෑ අහසෙ පින්තූර අරන් විකුණනව ලොකු ගනන් වලට. රස්සාවෙන් මාස ගනන් නිවාඩු අරන් තනියම නොදන්න රටවල් වල හයික් යනවා. අලි කොටි වලස්සු ඉන්න තැන්වල. මිනිහට ගානක්වත් නෑ. එන්නෙ සුපිරිම පොටෝ කලෙක්ෂන් එකක් එක්ක. අත්දැකීම් වීඩියෝ කරල බ්ලොග් එකක් කරන් යනවා. පොර විනෝදාංශෙට සෑහෙන කාලයක් වගේම වියදමකුත් කරනවා. හැබැයි ඒකෙන් ආදායමක් ගන්නවා. අපිට ප්රශ්න. කැමති දෙයක් කරන්ඩ බෑ. සල්ලි නෑ. ආරක්ෂාව ගැන ප්රශ්න තියෙනවා. අනිත් මිනිස්සු කැමති නෑ. නිදහස නෑ. උපාංග නෑ. කොටින්ම අපිත් අමාරුවෙන් යමක් කරන්ඩ කැමතිත් නෑ. බොක්කෙන්ම වැඩ කරල එන්ජෝයි කරන අය ගොඩක් ඇති. ඒත් අටපහ රස්සා කරන ගොඩක් අය සැටිස් නෑ.

මේ කතාව මට මතක් වුනේ Cosmos කියන චිත්රපටිය බලද්දි. එංගලන්තෙදි ඩොලර් 5000ක බජට් එක්කට 2019 දි ගහපු ලෝ බජට් චිත්රපටියක්. ඒ වුනාට හරිම ලස්සනයි. හැබැයි ගොඩක් අය බලන්ඩ කම්මැලිවෙන ජාතියෙ එකක්. පොලවෙන් අභ්යවහාශයට යවපු රේඩියෝ සිග්නල් එකකට එන රෙස්පොන්ස් සිග්නල් එකක් අල්ලන්ඩ කාර් එකක කඳු මුදුනකට ගියපු තුන් දෙනෙක් ගෙ කතාවක්. එක බලද්දි මට උල්කාව පොටෝ ගන්ඩ ගියපු ගමන මතක් වුනා.

කතාවට දාපු පින්තූරෙ කතාවත් එක්ක ඩිරෙක්ට් සම්බන්ද නෑ. මේක නැමීබියාවෙ තරු බලන්ඩ ගියපු ෆ්ලෝරියාන් කියල මහත්තයෙක් 2004දි විතර ගත්ත පින්තූරයක්. නැමීබියාව තරු බලන අය අතරෙ හෙන ප්රසිද්දයි. එහෙ ලෝකෙ ආලෝක දූෂනය අඩුම තැන් වලින් එකක්. මම මේ පින්තූරෙට හරිම ආසයි. දන්න කාලෙ ඉඳන් මම ගාව තිබ්බ හැම කොම්පියුටරේකම වෝල් පේපරේට දාන්නෙ මේක.

Comments

Popular posts from this blog

සෞරග්‍රහ මණ්ඩලයේ පරිමාණය