අවුරෝරා සහ ජීවයේ පැවැත්ම
පුරාණ ග්රීක ජනකථා වලට අනුව අවුරෝරා යනු උදෑසනට අදිපතිවූ දෙවඟනයි. අවුරෝරා බොරියාලිස් නමින් උත්තර අර්ධගෝලයේ චුම්භක ධ්රැවය ආසන්නව පිහිටා ඇති රටවල් වන ඇලස්කාව, කැනඩාව, ෆින්ලන්තය, ස්වීඩනය, නෝර්වේ, අයිස්ලන්තය, රුසියාව වැනි රටවලටත්, අවුරෝරා ඔස්ට්රාලිස් නමින් දක්ෂිණ චුම්භක ධ්රැවය ආසන්න රටවල් වන තස්මේනියාව, නවසීලන්තය හා ඇන්ටාක්ටිකාව වැනි රටවලටත් උෂාලෝකය දර්ශනය වේ.
අවුරෝරා හටගන්නේ සූර්යයාගේ සිට පැමිණෙන සූර්යසුළං වල ඇති අයන (ප්ලාස්මා) පෘථිවියේ ඉහළ වායුගෝලයේ ඇති පරමාණු හා ගැටීමෙනි.
සූර්යයාගේ ඉන්ධනය හයිඩ්රජන්ය. මෙම හයිඩ්රජන් දහනය වී හීලියම් නිෂ්පාදනය වන අතර මෙම ප්රතික්රියාවේදී ඉතා විශාල තාප ප්රමාණයක් හා ගැමා කිරණ වැනි විකිරණ ද නිකුත් වෙයි. සූර්යයාගේ අභ්යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන පහළොවක් පමණද පිටත පෘෂ්ඨය සෙල්සියස් අංශක හය දහසක් පමණද තරම්ද වේ. තවද සූර්යයාගේ වායුගෝලය හෙවත් සූර්ය කොරෝනාව සෙල්සියස් අංශක මිලියන දෙකක් පමණ උෂ්ණත්වයකින් යුතු ආරෝපිත අංශු හෙවත් ප්ලාස්මා වලින් සමන්විත වේ. උතුරණ ජල බඳුනකින් වායු බුබුලු පිටවන්නාමෙන් සුර්ය කොරෝනාවේ සිට විටින් විට මෙම අංශු වේගයෙන් පිටතට විදිනු ලබයි. මේවා සූර්ය සුළං ලෙස හැඳින්වේ.
පෘථිවියට මෙම සූර්ය සුළං වලින් සිදුවන හානිය අවම වී ඇත්තේ ඒ වටා ඇති චුම්බක ක්ෂේත්රය නිසාය.
පෘථිවියේ මැද ඇත්තේ උණුවී කැකෑරෙන ලෝහ ගුලියකි. මෙය පෘථිවියේ හරය (core) ලෙස හැඳින්වේ. ප්රධාන වශයෙන් යකඩ(Fe) හා නිකල් වලින් සමන්විත මෙම හරයේ මැද පීඩනය කෙතරම්ද යත් ලෝහ උණු වී දියර බවට පත්වේ. එසේ උණුවන ලෝහ හරයේ පිටත පෘෂ්ඨයේදී සිසිල්වී ඝණ වේ. මේ සංසිද්ධිය දිගින් දිගටම සිදුවේ. මෙය ඩයිනමෝ ආචරණය නම් වේ. මේ හේතුවෙන් පෘථිවියේ චුම්භක ධ්රැව දෙකක් හටගන්නා අතර ඒ වටා බලවත් චුම්භක ක්ෂේත්රයක්ද හටගනී.
ඔබ උසස් පෙළ භෞතික විද්යාව උගත්තේ නම් ආරෝපිත අංශුවකට චුම්භක ක්ෂේත්රයකදී විකර්ෂණ බලයක් ඇතිවන බවට මතක ඇතුවාට සැක නැත. එසේ මෙම සූර්ය සුළං සමඟ එන ආරෝපිත ප්ලාස්මා අංශු පෘථිවි චුම්භක ක්ෂේත්රය කපාගෙන ඇතුළට එන්නට සැකසෙද්දී ඉහත ආකාරයට විකර්ෂණය වීමෙන් වායුගෝලයට ඇතුල්වීම වළක්වයි. මේ හේතුවෙන් පෘථිවිය සූර්ය සුළං වලින් සෑහෙන ප්රමාණයක ආරක්ෂවක් ලබයි. එහෙත් ධ්රැවාසන්න ප්රදේශවලදී චුම්භක ක්ෂේත්රයේ දිශාව වෙනස් වන හෙයින් ඉහත කී විකර්ෂණ බලය අවම වේ. මේ හේතුවෙන් ධ්රැවාසන්න ප්රදේශ වල ඉහල වායුගෝලයේ සූර්ය ප්ලාස්මා අංශු ගැටී අවුරෝරා හටගනී.
සූර්ය සුළං වායුගෝලයේ ගැටෙන ස්ථානය හා ගැටෙන අණු වර්ගය අනුව අවුරෝරාවේ වර්ණය තීරණය වේ. ඉහළ වායුගෝලයේ ඔක්සිජන් අණු සමඟ සුර්ය ප්ලාස්මාව ගැටීමෙන් රතු පැහැයද නයිට්රජක් නම් නිල් පැහැයද ලැබේ. ගැටෙන්නේ පහළ වායුගෝලයේ නම් ඔක්සිජන් සමඟ කොල පැහැයද නයිට්රජන් සමඟ දම් පැහැයද ලැබේ.
යම් දිනක අපගේ පෘථිවි චුම්භක ක්ෂේත්රය මියගියහොත් සූර්ය සුළං බාධාවක් නැතුව අපගේ වායුගෝලයට ඇතුල් වනු ඇත. ප්රථමයෙන්ම අපගේ ඉලෙක්ට්රොනික හා සංනිවේදන උපකරණ විනාශ වනුඇත. පෘථිවි උෂ්ණත්වය ක්ෂණිකව ඉහළ යනු ඇත. පෘථිවි වායුගෝලය ඉතාම කෙටිකාලයකින් අතුගා දමනු ඇත. අපගේ පෘථිවිය ජීවීන්ද සමඟම මරණයට ඇදීගොස් අඟහරු මෙන් මළ ග්රහලොවක් බවට පත්වෙනු ඇත. එසේ වුවත් මුලදී සමකයේ සිටින අපටද හොඳින් අවුරෝරා නම් පෙනෙනු ඇත.
වසර බිලියන තුනහමාරකට පෙර පෘථිවියේ ජීවය ආරම්භවන සමයේ පෘථිවියේ උෂ්ණත්වය ඉතා ඉහළ අහයක් ගත් අතර වායුගෝලයද විෂ සහිත විය. එහෙත් පෘථිවියට වඩා හිරුගෙන් ඈත්ව පිහිටි අඟහරුගේ උෂ්ණත්වය සෞම්ය විය. අඟහරු වෙත වායුගෝලයක්ද චුම්භක ක්ෂේත්රයක්ද විය. අඟහරු මත විශාල මුහුදුද පිහිටියේය
1972 දී අඟහරු වෙත යැවූ Mariner 9 යානයෙන්ද ඉන්පසු යැවූ Viking, Mars Global Servayor යානාවලින්ද අඟහරු මත විශාල මුහුදු තිබී ඇති බවට සාක්ෂි සොයාගෙන ඇත.
2008 අඟහරු මත ගොඩබැස්සවූ ෆීනික්ස් යානයෙන්ද මේ බව තහවුරු කර ඇත.
2012 දී කියුරියෝසිටි රෝවරය අඟහරු මතදී ලබාගත් පස් සාම්පල වලින්ද ජලය තිබූ බවට සාක්ෂි සොයාගෙන ඇත.
නමුත් අඟහරු අද මල ග්රහයෙකි. එය සිදුවූයේ කෙසේදැයි අප හට අනුමාන කළ හැක.
ග්රහලෝකය ක්රමයෙන් සිසිල් වත්ම එහි හරය (core) ද සිසිල් වන්නට ඇත. ඒ සමඟ ඩයිනමෝ ආචරණය නැවතී චුම්භක ක්ෂේත්ර්ය මියයන්නට ඇත. ඉන්පසු පැමිණි සූර්ය සුළං වලින් එහිවූ වායු ගෝලයේ වැඩිකොටසක් ඉවතට හේදී යන්නටත් ඇත. පාරජම්බූල කිරණ අඩංගුවූ හිරුරැසින් අඟගරු පෘෂ්ඨය පිළිස්සී කරවී යන්නට ඇත. කෙටිකාලයකින් අඟහරු සීතල මළ ග්රහයෙක් වන්නට ඇත. පොළවට සාපේක්ෂව ඉතා කුඩා ග්රහයෙක්වූ අඟහරුගේ හරය (core) ඉතා කුඩා වීම හේතුවෙන් චුම්භක ක්ෂේත්රය කුඩා වීමෙන් ඉහත ක්රියාවලිය ඉතා කෙටි කාලයක් ඇතුලත අවසන්වන්නට ඇත.
අවුරෝරා ඉතාම අලංකාරය. එමෙන්ම එය අභ්යවකාශයේ සිට පැමිණෙන සූර්ය සුළං මාරයාගෙන් හැමවිටම අප බේරාගන්නා අදෘශ්යමාන පෘථිවි චුම්භක ක්ෂේත්රයේ පැවතීම අපට සිහිගන්වයි.
එසේ හෙයින් මීළඟ වර අවුරෝරාවේ පින්තූරයක් නරඹන විට එහි අලංකාරය මෙන්ම එම ක්රියාවලියද අගය කිරීමට පුරුදු වෙමු.
අමිල විමලරත්න
2021-10-01

Comments
Post a Comment