ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව
2020-Dec-14
ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව මේ දවස් වල අපිට පේනව. Object 3200 Pheathon කියන වල්ගා තරුව ඉතිරි කරල ගිය ශේෂ කොටස් අපේ ඉහල වායුගෝලෙට ඇතුල්වෙද්දි තමයි ඔය කියන ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව ඇතිවෙන්නෙ. ඕකට ජෙමිනිඩ් කියන නම දාන්න හේතුව ඔය උල්කාපාත කෑලි ඉතුරුවෙලා තියන හරියට කෙලින්ම අහසෙ අපිට පේන්නෙ මිතුන රාශිය. එතකොට ඔය උල්කා පේන්නෙ මිතුන රාශියෙ ඉඳන් එනව වගේ. ඒකයි ජෙමිනිඩ් කියන්නෙ. පැයකට උල්කාපාත 100කට වඩා ගනන් කරන්න පුලුවන් ඕකෙ උපරිමය එනව කියපු ඊයෙ සහ අද වගේ දවස් වල.
මිතුන රාශිය අහසෙ ඉහලටම එන්නෙ රෑ දොලහට වගේ හින්ද මම රෑ දොලහෙ ඉඳන් උල්කා ගනින්ඩ හිතුව. මොකද මැච් එක්කුත් තිබ්බ නෙ. කොරෝන හින්ද රෑට එහෙමෙහෙ යන්ඩත් කේස් නිසා ගෙදර වත්තෙ එහා කෙලවරේම තියෙන කොන්ක්රීට් බංකුවක් තමයි පොට් එකට තෝර ගත්තෙ. අනික මේ දවස්වල අපේ ගෙවල් පැත්තෙ ඔලුව නැති හොල්මනක් රෑට කරක් ගහනව දැකල කීපදෙනෙක් බයවෙලා තිබ්බලු. කොලඹ කැම්පස් එකෙන් සෙට් එකක් ඇවිත් කැමරා එහෙම හයිකරල ගියා කියල යාලුවෙක් කිව්ව. ඒක හින්ද නිකන් රිස්ක් එකක් ගන්ඩත් බෑනෙ.
ජෙමිනි කොන්ස්ටලේෂන් එක රෑ දොලහ වෙද්දි කෙලින්ම අහසෙ උඩටම සෙට් වෙන නිසා බංකුවෙ ආතල් එකේ නිදාගෙනම උල්කා ගැන්නෑකි. සෙල්ෆියකුත් ගත්ත කෝකටත්. දැන් ඔය ගනින උල්කා ගාන ලියාගන්ඩ පොතක් පෑනක් එහෙම ගන්ඩ ඕනෙ. තිබහට බොන්ඩ වතුර බෝතලේකුයි පෝන් එකයිත් ගන්ඩ ඕනෙ.
වැදගත්ම දේ තමයි පෝන් ටෝච් පාවිච්චි කරන්ඩ බෑ. අදුරෙ විනාඩි දහයක් විතර ඉද්දි හොදට ඇස් අඳුරට හුරුවෙනවා. එතකොට ඔය උල්කා දවල් වගේ හොඳට පේනවා. අනික ඇඳුරු තැනක් නම් හොඳයි. ටවුමක වගේ උනොත් පේනව අඩුයි එලියට. ඔය වෙලාවට ගනන් කරන ඒව ලියාගන්ඩ පාර හොයාගන්ඩ වගේ ටෝච් එක්කට රතුපාට පොලිතින් කෑල්ලකින් වහල රතු එලියක් එන විදියට හදාගෙන පාවිච්චි කරන්ඩ පුලුවන්. රතුපාට එලිය අඳුරේදී පෙනෙන සංවේදීතාවයට හානි කරනව අඩුයි.
ඔය ඔක්කොම අටවගෙන හරියටම රෑ දොලහට බංකුවට සෙට් වුනේ. පැයට සීයක් වගේ උල්කා පේනව කිව්වට මටනම් ගනින්ඩ පුලුවන් වුනේ පැයට තිහ තිස්පහ. මගෙ ටාගට් එක සීයක් ගනින්නැතුව නිදාගන්ඩ යන්නෑ කියල. දැන් පාන්දර තුනයි විස්සයි. කවුන්ට් එක එකසිය දාහතරයි. ටාගට් ඇචීව්ඩ්.
වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජයගත් පසු එහි අග්රඵලය ලැබීමට නිහඬව ටික වේලාවක් බලාසිටිය යුතුයි කියන නිසා විනාඩි විස්සක ඔහේ බලන් ඉඳල දැන් නිදාගන්ඩ යන්නෙ.

Comments
Post a Comment