Pale Blue Dot
මේ පින්තූරය ඉතාම වැදගත් එකකි. Pale Blue Dot නම් මෙය 1990 පෙබරවාරි 14 වන දින වොයේජර් 1 යානයෙන් කිලෝමීටර් බිලියන හයක පමණ දුරක සිට ගත් එකකි.
මෙහි දකුණු කෙළවරේ සිට ඇති පළමු සූර්ය කදම්බයෙහි මැදට වන්නට ඇති පික්සලයක ප්රමාණයේ තිත පෘථිවියයි. එය අපේ නිවහනයි. ජීවය ආරම්භවූදා සිට සියළු මිනිසුන්, දාර්ශණිකයන්, ශාස්තෘවරුන්, විද්යාඥයන්, රණවිරුවන්, දාමරිකයන්, සොරුන්,මංකොල්ල කරුවන් සියලු දෙනා ජීවත් වූයේ මෙහිය. එක් මිනිසෙක් හැරෙන්නට අප සියළුදෙනා ඉපදුනේද මියගියේද පොලවට පස්වූයේද මෙහිය. විද්යාඥ ඉයුජීන් ෂූමාකර්ගේ භෂ්මාවශේෂ හඳෙහි තැන්පත්ව ඇත.අපි තරු දරුවෝ වෙමු. එමෙන්ම අහම්බයෙන් ජීවිතය ලද්දෝ වෙමු. තරුවක් තමාගේ ඉන්ධනය වන හයිඩ්රජන් දහනයවී අවසන් වූවාට පසු මියයයි. විශාල තරු ඉතා කෙටි කාලයකින් මහා පිපුරුමක් සහිතව සුපර්නෝවා බවට පත්වේ. බොහොමයක් කුඩා තරු දිගු කලක් ජීවත්ව නිහඬව මියයති. ඔවුන් සුදු වාමනයින් බවට පත්වේ. තරුවක් මියයනවිට තමාගේ පදාර්ථයෙන් කොටසක් අවකාශයට විසිකර දමයි. මේ වීසිකරන සංඝටක තවත් තරුවක් නිරිමාණයට දායක වේ. එය අහම්බයකි. මළතරුවකින් විසිරෙන පදාර්ථ අවකාශයේදී එක්තැන්වී ගුරුත්වයට යටත්ව අලුතින් තරු උපදවයි.
මෙසේ ඉපදෙන ළදරු තරුවක ආසන්නයේ ඉතුරුවන පදාර්ථ වලාවන් තවදුරටත් ඝනීභවනය වී කාලයත් සමඟම ග්රහලෝක නිර්මාණය විය හැකිය. එයද ඉතාමත් අහම්බයකි.
අපගේ සූර්යයාට ග්රහලෝක අටක් හෝ වැඩි ප්රමාණයක් ඇත. එයින් ජීවය පවතින්නේ පෘථිවියේ පමණකි.
ජීවය පැවතීමට අවශ්ය පසුතලය නිපදවීමද අහම්බයකි. පනහ දශකයේදී මිලර් සහ යූරේ පරීක්ෂණාගාරයක් තුල ඇමීනෝ ඇසිඩ් කෘතිමව නිපදවූහ.ඇමයිනෝ අම්ල යනු ජීවයේ ප්රදානම සංඝටකයයි. විශාල වීදුරු ෆ්ලාස්කුවක් තුළට ඇමෝනියා, හයිඩ්ර්ජන්, මෙතේන් සහ ජලවාශ්ප එක්කළ ඔවුන් ඒතුල කෘතීමව විද්යුත් පුලිඟු ඇතිකලහ. එය එකල බහුලව තිබූ අකුණු ගැසීමට සමාන වන අතර ජීවය පළමුව හටගත් කාලයේ වායුගෝලයේ සංඝටක ඒවා විය. පුදුමයට කරුණ වන්නේ මෙම සංඝටක පරිණාමය වූ ජීවියාට ඉතාමත් විෂසහිත වීමයි. ඉතින් ජීවීන්ට ඉතා විෂ සහිත සංඝටක වලින් ජීවය හටගෙන පරිණාමය වෙද්දී වායුගෝලය ජීවීන්ට හිතකර පරිදි වෙනස් වීම පුදුමාකාර අහම්බයක්ම නොවන්නේද?
මෙසේ මුහුදෙහි හටගත් ඒක සෛලික ජීවීන්ගෙන් ජලජ ජීවීන් හා ශාක පරිණාමය වූ බවද ගොඩබිම උරගයන් ඇතිවූබවද ඔවුන්ගෙන් බෙදී ගිය ගස් වල වසන වානරයන්ගෙන් බිඳී මානවයන් පැවතෙන බවද පැවසේ. ඒ අතරමැදි කාලයේ ව්යසනයන් විශාල ප්රමාණයක් සිදුවන්නට ඇත. ඒවායින් සමහරක් ජීවීන් වඳවීයද්දී සාපේක්ෂව දුර්වල සිරුරක් හිමි මානවයා ඉතිරිවීම අහම්බයක් නොවන්නේද?
මිනිසා ඉතා ආත්මාර්ථකාමී ජීවියෙකි. ඔහු විශ්වයම නිපදවී ඇත්තේ තමන් වෙනුවෙන් යැයි සිතයි. එසේ සිතා අණක් ගුණක් නොමැතිව සියල්ල පරිහරණය කරයි. ලෝකය විනාශ කරයි.
ඔහු තමන්ගේ එකම පැවැත්මේ යාන්ත්රණය වූ බුද්ධිය සහ දැනුම යොදා භයානක අවි නිශ්පාදනය කර ඇත. අවශ්යනම් පැය බාගයකින් මුළු ලෝකයම විනාශ කරහැකි තරම් පරමාණුක අවි මිනිසා සතුය. ඔහු අණක් ගුණක් නොමැතිව පරිසරය විනාශ කර දමයි. ගස් කපා හෙලයි. අනෙක් ජීවීන් මරා දමයි. පෘථිවියම විනාශකර දමයි.
අප පෘථිවියේ සොහොයුරිය ලෙස පැවසෙන්නේ සිකුරු (Venus) ග්රහලොවයි. දහසය වන සියවසේදී ගැලීලියෝ පළමුව සිකුරු ග්රහයා නිරීක්ෂණය කර ඇත. දුරේක්ෂයකින් බැලීමේදී කිසිදු ලක්ෂණයක් නිරීක්ෂණය කළ නොහැකිවූ නිසා එකල සිකුරු ග්රහයා ඝන වලාකුලු ස්ථරයකින් වැසී ඇතැයි උපකල්පනය කල බව පැවසේ. එයින් පසු වසර දෙසීයක් ගතවන තාක් මිනිසුන් විවිධ මත සිකුරු වෙනුවෙන් ඉදිරිපත්කර ඇත. ඝන වලාකුලුවලට පහලින් සිකුරු මත මිනිසුන් සිටිනා බවටත් විවිධ ශිෂ්ටාචාර ඇති බවටත් මත පලවිය. පසුකාලීනව රේඩියෝ දුරේක්ෂ හා එක්ස් කිරණ ඡායාරූප මගින් සිකුරුගේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 475ක් පමණ වන බව සොයාගෙන ඇත. අසාර්ථක වූ උත්සාහයන් 25කට පමණ පසු 1972දී සෝවියට් Venera 5 යානය සිකුරු මතට ගොඩ බැස්සවීය. එය වෙනත් ග්රහයෙක් මතට යානාවක් ගොඩබැස්සවූ පළමුවන අවස්ථාව විය. 1975දී සෝවියට් Venera 9 යානය සිකුරු මතදී ගන්නා ලද පලමු ඡායාරූපය එවන ලදී.
ඉහත යානා වලින් එවන ලද දත්ත අනුව සිකුරුගේ වායුගෝලයේ වැඩිපුරම ඇත්තේ කබන් ඩයොක්සයිඩ් ය. නයිට්රජන් හා සල්ෆියුරික් අම්ල වලාකුලුද දක්නට ඇත. කාබන් ඩයොක්සයිඩ් යනු හරිතාගාර වායුවකි. හරිතාගාර ආචරණය හේතුවෙන් සිකුරුගේ මතුපිට උෂ්ණත්වය හිරුට වඩාත් ළඟින් ඇති බුධ ග්රහයාටද වඩා වැඩිය. සල්ෆියුරික් අම්ල වැසි ඉතා බහුලය. සැබැවින්ම සිකුරුග්රහයා යනු අපායයි.
පෘථිවියට අනෙක් පසින් ආසන්න ග්රහයා වන්නේ අඟහරු (Mars) ය. පෘථිවිය හැර මිනිසා වැඩියෙන්ම අධ්යයනය කර ඇති ග්රහලෝකය එයය. මේ අවුරුද්දට පමණක් ඇමෙරිකාවෙන්, චීනයෙන් හා එක්සත් අරාබි එමීර් රාජ්යයෙන් අඟහරුට යානා යවා ඇත.
මේ සියවසේ මුල භාගයේ අඟහරු නිරීක්ෂණය කල පර්සිවෙල් ලොවෙල් ඒ මත වූ පැලුම් වාරිමාර්ග ලෙස විස්තර කළේය. එයින් පසු අඟහරු මත ජීවය පවතී යැයි මතයක් පළවූ අතර විවිධාකාර කෘති නාට්යයන්ද ඒ අනුව නිපදවිණි. එහෙත් සැබැවින්ම අඟහරු යනු මළ ග්රහයෙකි. එය මත ජීවීන් සොයා විවිධ පරීක්ෂණ කළද මෙතෙක් එහි විනාශව ගිය ජීවයක්වත් තිබූ බව සොයාගෙන නැත. අඟහරුගේ සාමාන්ය උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ හැටක් පමණ වේ. මෙය පොළවේ අඩුම උෂ්ණතවය මට්ටමේ පවතී. එසේ වුවත් බොහෝවිට මෙම අගයටත් වඩා බොහෝ අඩු උෂ්ණත්වයක් පැවතිය හැකිය.
අඟහරුගේ තුනී වායුගෝලයක් පවතී. එය වැඩිපුරම කාබන් ඩයොක්සයිඩ් වලින් සමන්විතය. පෘථිවියේ ඕසෝන් ස්ථරය මෙන් ආරක්ෂිත වායු ස්ථරයක් එහි නැත. මේ හේතුවෙන් හිරුගෙන් එන පාරජම්බූල කිරණ වලින් මෙන්ම අභ්යවකාශයේ සිට එන අන්තරීක්ෂ කිරණවලින්ද අඟහරු බැටකයි. අඟහරුගේ පෘෂ්ඨය පිච්චීගිය කබොලක් බවට පත්වී ඇත්තේ මේ නිසාය.
සිකුරු හා අඟහරු පිළිබඳ අධ්යයනයෙන් අපට වැදගත් කරුණු දෙකක් උගත හැකිය.
මිනිසා ප්රස්වාසයෙන් මෙන්ම විවිධ කාර්මික ක්රියාවලීන්ගෙන් කාබන්ඩයොක්සයිඩ් ඇතුලු හරිතාගාර වායූන් වායුගෝලයට එක්කරයි. කාබන්ඩයොක්සයිඩ් හරිතාගාර ආචරණයට ප්රදානම හේතුව වේ. මේ හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහල නගී. මෙම අමතර කාබන්ඩයොක්සයිඩ් තුලනය කරන්නේ ගස්වැල් වලිනි. ප්රබාසංස්ලේෂණය මගින් ශාක කාබන්ඩයොක්සයිඩ් ඔක්සිජන් බවට පත්කරයි. නමුත් දැන් මිනිසා අසීමාන්තිකව ගස්වැල් විනාශකරමින් සිටී. එහෙයින් යම් දිනක සිකුරු මත දුටු අපාය මිහිපිට දක්නට නොලැබේවිද?
අනෙක් අතට මිනිසා වායුගෝලයට නිකුත් කරන සමහර අපද්රව්ය හේතුවෙන් ඕසෝන් ස්ථරය පළුදු වෙමින් පවතී. ඒ හේතුවෙන් යම් දිනක අපගේ මහපොළවද අඟහරු මෙන් හිරුරැස්වලින් පිළිස්සී ගිය කබොලක් බවට පත් නොවන්නේ යැයි සිතිය හැකිද?
ඩ්රේක්ගේ සමීකරණය යනු කිසියම් මන්දාකිණියක වාසයට සුදුසු ග්රහලෝක සංඛ්යාව අනුමානය කිරීමට යොදාගන්නා එකකි. ඒ අනුව අපෙගේ ක්ෂීරපථය තුල වාසයට සුදුසු තවත් ග්රහලෝක සියගණනක් හෝ දහස් ගණනක් තිබිය හැකි බව කියවේ. එහෙත් තවමත් අප නිරීක්ෂණය කල විශ්වයෙන් එවැන්නක් සොයාගෙන නැත. ඇත්තේ අනුමානයන් පමණි. සොයාගත්තද ඒ වෙත ගමන් කිරීමේ තාක්ෂණය අපට නැත. අප අභ්යවකාශයේ සරන්නට පටන්ගෙන තවම වසර හැත්තෑවක්වත් නැත.
අපගේ සූර්යයා මියයාමට තව වසර බිලියන පහක්වත් ගහවනු ඇත. සූර්යයා මියයන දිනක ඒසමග පොළවද අනෙතුත් ග්රහලෝකද විනාශවී යනු ඇත. එතරම් කලක් අප අපව විනාශ කර නොගනීද? විශ්වය අපව විනාශ නොකරයිද?
Pale Blue Dot පින්තූරය අපට ඉතාම වැදගත් වන්නේ එහෙයිනි. එම තිත අපගේ නිවහනයි. ඒ හැරෙන්නට අපට වෙන යාමට තැනක් නැත.
අමිල විමලරත්න
2021.09.26

Comments
Post a Comment